New to Road to Japan?: get your First Day Free. 

අද ඉඳලා ගෙනඑන ලිපිමාලාව සාහිත්‍යයට කැමති අයටනම් ගොඩක් වැදගත් වේවි. ජපන් සාහිත්‍ය කියන්නෙ මුළු ලෝකයේම ආදරේට පත්වුණු කලා නිර්මාණ රැසක් ලෝකයට දායාද කළ ඒ වගේම අග්‍රගණ්‍ය ලේඛකයන් රැසක් පෝෂණය කළ සාහිත්‍යයක්. එසේ ජපන් සාහිත්‍යය පෝෂණයට උරදුන් නත්සුමෙ සෝසෙකි නම් ලේඛකයා ගැන මදක් විමසා බලමු .

නත්සුමෙ සෝසෙකි යනු ජපන් සාහිත්‍යයේ නොමැකෙන සටහන් තැබූ කතුවරයෙකි. 1867 පෙබරවාරි 09 වන දින උපත ලැබූ ඔහුගේ මුල් නම Natsume kin’nosuke නම් විය. 1905 – 1916 අතර කාලයේ ඔහු විසින් කෘති දහහතරක් පමණ රචනා කරන ලදී. ඔහුගේ කෘති ලෝකයේ විවිධ භාෂාවලට පරිවර්තනය කර ඇත. මේ අතරින් වඩාත්ම ජනප්‍රිය කෘති ලෙස kokoro, botchan, I am a cat ආදිය දැක්විය හැක. ඔහුගේ පළමු නවකතාව වූයේ 1905දී රචනා කළ I am a cat කෘතියයි.

මෙම සොඳුරු කලාකරුවාගේ පුද්ගලික ජීවිතය මදක් විමසා බැලූවිට ඔහුගේ කුඩා කාලය සුන්දර වූවක් නොවන අතර සිය නිවසින් දුරස් වී සිටීමටද ඔහුට සිදුවිය. පාසල් වයසේදී චීන භාෂාවට මහත් සේ ඇලුම් කල අතර සාහිත්‍යය කෙරෙහිද විශේෂ උනන්දුවක් දක්වන්නට විය. පසුව ඉංග්‍රීසි භාෂාව පිලිබදව උපාධියක් ලබාගත් ඔහු ඉන් පසුව ඉංග්‍රීසි කථිකාචාර්ය වරයෙක් ලෙස සේවය කරන ලදී. නමුත් පසුකලීනව සිය රැකියවෙන් ඉවත්ව පූර්ණ කාලීනව ලේඛනයේ යෙදෙන ලදී.

සෝසෙකිගේ කෘති වල මූලික තේමා අතර හුදෙකලාව හා ඒ හා බැඳුණු විවිධ මානසික ගැටුම් , ආර්ථික දුෂ්කරතා හා ඒවා සමග පොර බදින මිනිසුන්, කාර්මීකරණය හා එහි සමාජ ප්‍රතිවිපාක ආදිය වූ අතර ඔහුගේ සෑම කෘතියක්ම පාහේ පාඨක ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය. එසේම ඔහුගේ කෘති ලෝකයේ විවිධ භාෂාවලට පරිවර්තනය වී ඇත. ඔහු විසින් රචිත “kokoro” (හදවත) නැමැති කෘතිය යසබන්දු සමරවීර මහතා විසින් “හදවත පෑරී” යන නමින් සිංහලයට පරිවර්තනය කර ඇත. කතාවේ තේමාව මමත්වය හා වරදකාරීත්වය යන හැඟීම් පාදක කරගෙන රචනා වී ඇති අතර කතාවේ චරිත ගොඩ නගා ඇති ආකාරය භාෂා ශෛලය සියුම් හැඟීම් ඉදිරිපත් කර ඇති ආකාරය නිසාම පාඨකයාට සිය ජීවිතයේ නොමැකෙන මතකයක් ඉතිරි කිරීමත් සැබැවින්ම පාඨක හදවත පෑරීමටත් නත්සුමේ සෝසෙකි නම් විශිෂ්ට කලාකරුවාට හැකි වී ඇත.

1916.12. 09 වන දින සිය ජීවිතයෙන් සමුගත් මෙම අග්‍රගණ්‍ය ලේඛකයාගේ නාමය ලෝකය තුළ ඉදිරියටත් අමරණීයව පවතිනු ඇත.

සටහන Sachini weerakoon

You cannot copy content of this page

en_USEN